බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල පැවැති රණවිරු සැමරුම් පෙරහුරු කටයුතුවලට බාධා කිරීම සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට අකුල් හෙලීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණි අවස්ථාවේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තමන් අත්අඩංගුවට ගත් බව විමල් වීරවංශ සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් තහවුරු කර තිබේ. ඊයේ (24) දිනයේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඔහු එදින නොපැමිණීම හේතුවෙන් අද දින පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබුණි.

පසුගිය මැයි 18 වැනි දින, රණවිරු දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු සිදුවෙමින් පවතිද්දී ජාතික රණවිරු ස්මාරකයට බලහත්කාරයෙන් ඇතුළු වීමට විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් උත්සාහ කළහ. එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, ආරක්ෂක වැටවල් උල්ලංඝනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම යන කරුණු මත ඔහුට එරෙහිව මෙම නෛතික පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ විමල් වීරවංශගේ මෙම හැසිරීම ඔහුගේ අන්ත දුක්කිත තත්ත්වයට වැටී ඇති දේශපාලන ජීවිතය යළි නඟාසිටුවීම සඳහා මාධ්‍ය අවධානය දිනා ගැනීමට කළ උත්සාහයක් විය හැකි බවයි. ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී ඇති මෙවැනි දේශපාලනඥයන් අත්අඩංගුවට පත්වීම හරහා හෝ ‘වොයිස් කට්’ කිහිපයක් ලබාගෙන පුවත් මැවීමට උත්සාහ කළ ද, එයින් ඔහුගේ දේශපාලන අනාගතයට කිසිදු සුබදායී බලපෑමක් නොවනු ඇති බව විචාරකයන්ගේ මතයයි.

අත්අඩංගුවට ගත් විමල් වීරවංශ වැඩිදුර නෛතික ක්‍රියාමාර්ග සඳහා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.