ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන වසර 17ක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා ජනාධිපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරුන් හැර වෙනත් කිසිදු දේශපාලන අධිකාරියකට ආරාධනා කර නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සැමරුම සඳහා රජය නියෝජනය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් සහභාගී වන බවයි. මීට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් මෙහි ප්‍රධාන දායකත්වය දරනු ඇත.
යුද්ධය නිමා කිරීම සඳහා නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කර ඇත්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, අමාත්‍ය මට්ටමින් සහ ජනාධිපතිවරයාට අමතරව වෙනත් කිසිදු දේශපාලන නියෝජිතයෙකුට මෙම උත්සවය සඳහා ඇරයුම් කර නොමැති බවයි.
උතුරු පළාතේ පැවැත්වෙන අනුස්මරණ උත්සව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ විජිත හේරත්, කුමන ජාතියකට අයත් වුවද යුද්ධයේදී මියගිය සිය ඥාතීන්, දෙමව්පියන් හෝ දරුවන් අනුස්මරණය කිරීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බව පෙන්වා දුන්නේය. “අපි කවුරුත් අකමැති වුණු යුද්ධයකට මේ රට මුහුණ දුන්නා. එහිදී මියගිය හෝ ආබාධිත වූ සියලු දෙනා අනුස්මරණය කිරීමේ අයිතිය සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා සියලු ජනතාවට තිබෙනවා. රජයක් ලෙස අප එම නිදහස සහ අයිතිය උපරිමයෙන් ආරක්ෂා කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.