ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. අදාළ පනත් කෙටුම්පත දැනටමත් ප්‍රසිද්ධ කර ඇති අතර, ඒ සඳහා ලැබුණු මහජන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් අවසන් සංශෝධන සිදු කෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැරණි ත්‍රස්ත මර්දන නීතිය ඉවත් කර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව නීතියක් හඳුන්වා දීම රජයේ මූලික අපේක්ෂාව බවයි. මෙම සියලු ප්‍රතිසංස්කරණවල ප්‍රධාන පරමාර්ථය වන්නේ පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන වඩාත් යහපත් සහ ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම බව ද ඔහු අවධාරණය කළේය.

ජාතික සංහිඳියාව තහවුරු කිරීමේ පියවරක් ලෙස උතුරු පළාතේ හමුදා භාරයේ තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිදහස් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම අතුරුදන් වූවන්ගේ කාර්යාලය (OMP) හරහා විමර්ශන කටයුතු කඩිනම් කර ඇති අතර, පීඩාවට පත් පාර්ශ්වයන් වෙනුවෙන් වන්දි ගෙවීමේ වැඩපිළිවෙළ ද ක්‍රමානුකූලව ආරම්භ කර තිබේ.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයන් පිළිබඳව ද අදහස් දැක්වූ හර්ෂණ නානායක්කාර, එම ප්‍රමාදයන් කිසිසේත්ම දේශපාලන මැදිහත්වීම් මත සිදු වන්නක් නොවන බව පැහැදිලි කළේය. ඒවා හුදෙක් පද්ධතිය තුළ පවතින පරිපාලනමය හා යටිතල පහසුකම් පිළිබඳ ගැටලු බවත්, එම බාධාවන් ඉවත් කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය උපරිමයෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.