ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට රට සතුව පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද දැනටමත් සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ හයවන රැස්වීම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
මෙහිදී මගීන්ට සහ වාහන හිමිකරුවන්ට සහන සැලසීමේ අරමුණින්, දැනට ක්‍රියාත්මක ඉන්ධන නිකුත් කිරීමේ ‘ඔත්තේ සහ ඉරට්ටේ’ ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ වෙනුවට QR කේතය (QR Code) යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම සහ ඉදිරියේදී ඉන්ධන සහන ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද නිලධාරීන්ගේ අවධානය යොමු විය.
බලශක්ති කළමනාකරණය විධිමත් කිරීමේ පියවරක් ලෙස “Clean Sri Lanka” වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුවත් කිරීමටත්, විදුලි පරිභෝජනය අවම කරගන්නා නිවෙස් තෝරාගෙන දරුවන් ඇගයීමට ලක් කිරීමටත් රජය සැලසුම් කර ඇත. මීට අමතරව, ඉදිරියේදී සිදු කරන සියලුම ඉදිකිරීම් සඳහා ‘හරිත ගොඩනැඟිලි’ (Green Building) සංකල්පය හඳුන්වා දීමට ද මෙහිදී තීරණය විය.
ලොව බොහෝ රටවල් ඉන්ධන පෝළිම් සහ විදුලි කප්පාදු හමුවේ පීඩා විඳිද්දී, වත්මන් රජය සිය නිසි කළමනාකරණය හරහා එම අර්බුද ජනතාවට නොදැනෙන මට්ටමින් පාලනය කළ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී පෙන්වා දුන්නාය. එහෙත්, බලශක්ති අර්බුදය තවමත් සම්පූර්ණයෙන් නිම වී නොමැති බැවින් ජනතාව අඛණ්ඩව දැනුවත් කරමින් තිරසර බලශක්ති භාවිතයට යොමු විය යුතු බව ඇය අවධාරණය කළාය. එමෙන්ම එළඹෙන වෙසක් සතිය තුළ ජනතාවට බාධාවකින් තොරව විදුලිය සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.