මෙරට ගුරු සේවය ලොව නිර්මාණය කරන උතුම් වෘත්තියක් ලෙස සලකා, එය මෙරට ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ගුරු සේවයේ පවතින ගැටලු විසඳමින් පියවරෙන් පියවර වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ අලුතින් ඉදිකළ පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පවතින ගුරු හිඟය මඟහරවා ගැනීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර ඇති බවත්, ඒ අනුව ගුරුවරුන් දහසකට අධික පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බවත් ඔහු මෙහිදී පැවසීය. මෙම බඳවා ගැනීම් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, විනිවිදභාවයකින් යුතු තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ මඟින් පමණක් සිදු කරන බව ද අමාත්‍යවරයා සහතික විය.

මෙරට අධ්‍යාපන පද්ධතියේ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව ද අදහස් දැක්වූ චන්දන අබයරත්න, වත්මන් විභාග කේන්ද්‍රීය ක්‍රමය නිසා දරුවන්ට අත්‍යවශ්‍ය බාහිර කුසලතා මඟහැරී ඇති බව පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ සිදු වූ දියේ ගිලීමේ මරණ පිළිබඳව අවධානය යොමු කරමින්, පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා දරුවන්ට ලබා දීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනසක් ලෙස, ඉදිරියේදී 09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇත. මෙමඟින් දරුවන්ට සිය රුචිකත්වය මත ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දිවයින පුරා වෘත්තීය පුහුණු ආයතන 50ක් නවීකරණය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න වැඩිදුරටත් සඳහන් කළේය.