ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර පහකුත් මාස හයක (වසර 5 1/2) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හලාවත මහාධිකරණය විසින් අද (15) නියම කරන ලදී.
මීට අමතරව, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද අධිකරණය විත්තිකරුට නියෝග කළේය. අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම්, තවත් මාස 24 ක අතිරේක සිර දඬුවමක් විඳිය යුතු බව ද හලාවත මහාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
මෙම පහරදීමට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත යන දෙදෙනාටම එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි. කෙසේ වෙතත්, සනත් නිශාන්ත 2024 ජනවාරි 25 වන දින කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වීම හේතුවෙන්, නඩු විභාගය ජගත් සමන්තට එරෙහිව පමණක් ඉදිරියට පවත්වාගෙන යන ලදී.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ විනිසුරුවරයා, රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් සාහසික ලෙස පහරදීම බරපතළ වරදක් බව පෙන්වා දෙමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.