ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 46,100ක (බිලියන 461ක) අති දැවැන්ත අලාභයක් ලබන තත්ත්වයට ඇද දැමූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් මීට පෙර සිදු කළ හෙළිදරව්ව වර්තමානයේ යළිත් දැඩි කතාබහට ලක්ව තිබේ.

2020 පෙබරවාරි 20 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර පෙන්වා දුන්නේ, එමිරේට්ස් සමාගමේ කළමනාකාරීත්වය යටතේ පවතින විට ලාභ ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රාජපක්ෂවරුන් එය පවරාගෙන සිය පවුලේ හිතවතුන්ට පාලනය භාර දීමෙන් පසු විනාශයට පත් වූ බවයි. 2007/2008 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 4,428ක ලාභයක් ලැබූ මෙම සමාගම, රාජපක්ෂවරුන්ගේ “මස්සිනාකරණයට” හසු වී වසරක් ඇතුළත රුපියල් මිලියන 9,306ක අලාභයක් දක්වා ඇද වැටී තිබේ.

එයාර් බස් කොමිස් මගඩිය සහ ඩොලර් මිලියන 16ක පංගුව
මෙම විනාශයේ කූටප්‍රාප්තිය සනිටුහන් වන්නේ ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව හරහායි. බ්‍රිතාන්‍ය අධිකරණයකින් ලබා දුන් තීන්දුවක් මඟින් හෙළි වූ පරිදි, මෙම ගනුදෙනුව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16.84ක කොමිස් මුදලක් ගෙවීමට එකඟතාව පළ වී ඇත. ඉන් ඩොලර් මිලියන 02ක මුදලක් (රුපියල් කෝටි 38කට ආසන්න) එවකට ප්‍රධාන විධායක නිලධාරීව සිටි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ බැංකු ගිණුමකට බැර වී ඇති බව තහවුරු විය.

පවුල් පාලනය සහ මූල්‍ය අවභාවිතය
එවකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහයි. ආයතනයේ ප්‍රධානියා සිය සමීපතම ඥාතියෙකු වන පසුබිමක, මෙවැනි මහා පරිමාණ කොමිස් ගැහිල්ලක් රටේ පාලකයා නොදැන සිදුවිය නොහැකි බව නලින් බණ්ඩාර එදා අවධාරණය කළේය. මෙම දූෂිත ගනුදෙනුව අවලංගු කිරීමට පසුව රජයට රුපියල් බිලියන 17ක වන්දි මුදලක් ගෙවීමට සිදු වූ අතර, එය ද මහජන බදු මුදල් මත පැටවුණු බරකි.

සංසන්දනාත්මක විනාශය
රාජපක්ෂ පාලන සමයේ (2008-2015) සිදු කළ මෙම කෝටි 46,100ක පාඩුව, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය වැනි ව්‍යාපෘති 9ක් හෝ නොරොච්චෝලේ බලාගාර වැනි බලාගාර 3ක් ඉදිකිරීමට සමාන මුදලක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ රජයේ බැංකු පවා අවභාවිත කරමින් සිදු කළ මෙම මූල්‍ය අපරාධය හරහා මෙරට ආර්ථිකයේ මළගම සනිටුහන් කළ ආකාරය මෙම හැන්සාඩ් වාර්තා මගින් මනාව තහවුරු වෙයි.

(Info – LankaTruth )