මෙරට තරුණ පරපුර අතර වර්ධනය වෙමින් පවතින සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව වැළැක්වීම සඳහා පරාජිත මානසිකත්වයක් ඇති කරන ගීත නිර්මාණය කරන රචකයන් සහ ගායකයන් සමාජයෙන් කොන් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් සහ ගීත මගින් සියදිවි නසාගැනීම ‘වීරත්වයක්’ ලෙස හුවා දැක්වීම බරපතළ ව්‍යසනයක් බවයි.
“පරාජිත මානසිකත්වයක් ඇති කරන ගීත ලියන රචකයන් සහ ගායකයන් අප සමාජයෙන් ඈත් කළ යුතුයි. එය දැවැන්ත අපරාධයක්,” යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී සිය දැඩි විවේචනය එල්ල කළේය. ජනප්‍රිය පුද්ගලයින්ගේ සියදිවි නසාගැනීම් වාර්තා කිරීමේදී මාධ්‍ය අනුගමනය කරන ඇතැම් විකෘති ක්‍රමවේද දරුවන් අනුකරණය කිරීමට පෙළඹෙන බැවින්, ඒ පිළිබඳව ද නීතිමය පියවර ගත යුතු බව ඔහු යෝජනා කළේය.
වර්තමාන දරුවන් මුහුණ දෙන අධ්‍යාපනික පීඩනය, විභාග ආතතිය, පවුල් ආරවුල් සහ විශේෂයෙන්ම මාර්ගගත (Online) ක්‍රීඩාවලට ඇබ්බැහි වීම මෙම අවාසනාවන්ත තීරණවලට මග පාදන බව පෙන්වා දුන් ලාල් ප්‍රේමනාත්, ඊට විසඳුමක් ලෙස පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ නමින් අනිවාර්ය විෂයයක් ඇතුළත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව, මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට සහ සියදිවි නසාගැනීමට පෙළඹෙන අයට ක්ෂණික සහාය ලබා දීම සඳහා ජාතික මට්ටමේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් හෝ විශේෂ කාර්ය සාධක බලකායක් (Task Force) පිහිටුවීමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙම යෝජනාව ස්ථිර කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, අරුණ පනාගොඩ සහ සහාය දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දින්දු සමන් වෙත සිය ස්තූතිය පළ කළ ලාල් ප්‍රේමනාත්, දරුවන්ගේ අනාගතය සුරැකීම සැමගේ වගකීම බව සඳහන් කළේය. අනතුරුව පාර්ලිමේන්තුව මැයි මස 19 වනදා දක්වා කල් තැබිණි.