රට තුළ අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව නොමඟ යැවීමට සහ රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන සියලු දෙනා සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති පොහොර ක්ෂේත්‍රයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට යල කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය රට තුළ පවතින බවත්, ඒවා ගොවිජන මධ්‍යස්ථාන හරහා බෙදා හරිමින් පවතින බවත්ය. මීට පෙර පෞද්ගලික අංශයේ බෙදා හැරීම් යම් ප්‍රමාණයකට සීමා කර තිබුණ ද, දැන් එය යළිත් යථා තත්ත්වයට පත් කර ඇති බැවින් කිසිදු ආකාරයක පොහොර හිඟයක් ඇති නොවන බව ඔහු සහතික විය. මාස් කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒ වෙනුවෙන් මේ වන විටත් මැදිහත් වී තිබේ.

පොහොර මිලදී ගැනීමේදී වංචාවන් සිදුවන බවට ඇතැම් පාර්ශ්ව නගන චෝදනා හුදෙක් දේශපාලන අරමුණු සහිත අසත්‍ය ප්‍රචාර බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “ලෝක වෙළඳපොළේ මිලට වඩා වැඩි මිලට පොහොර ගන්නා බව පවසමින් ඇතැම් බංකොලොත් දේශපාලන බලවේග ගොවි ජනතාව කුලප්පු කිරීමට උත්සාහ දරනවා. ඔවුන්ගේ අරමුණ ආණ්ඩුව කෙරෙහි වෛරයක් නිර්මාණය කිරීමයි. මෙවැනි අසත්‍ය පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාවේදී තවත් වැදගත් තීන්දුවක් ලෙස, ඉදිරියේදී පොහොර යෙදීමට පෙර අනිවාර්යයෙන්ම පස පරීක්ෂා කර බැලීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට තීරණය විය. තුන්වන සහ හතරවන පරම්පරාවේ නවීන පොහොර වර්ග භාවිතයට හඳුන්වා දීම හරහා ඵලදායීතාව ඉහළ නැංවීමට ද පියවර ගැනේ. කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු දෙනා කිසිදු දෙගිඩියාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යා යුතු බවත්, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය උපරිමයෙන් කැපවී සිටින බවත් අමාත්‍ය ලාල්කාන්ත මෙහිදී සහතික විය.