ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ. ඒ අනුව, එළැඹෙන 12 වැනිදා අදාළ කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වමින් හිටපු ජනාධිපතිවරයා වෙත නිල ලිපියක් යොමු කර ඇත.
අදාළ කැඳවීම් ලිපිය අද (09) දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත නිල වශයෙන් භාර දී තිබේ. මීට පෙර හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුව ද, ඒ සඳහා වන නිල ලිපියක් භාර දී තිබුණේ නැත.
මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවයි. එවකට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෝ වෙති.
විමර්ශන අතරතුර අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් හෙළි කළේ, තමන්ට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂට ද, රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ ප්‍රියංකර ජයරත්නට ද ලබා දුන් බව කපිල චන්ද්‍රසේන විසින් ප්‍රකාශ කර ඇති බවයි. එම පාපොච්චාරණයට අදාළව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර තිබේ.