ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින අර්ධ ශතවර්ෂයකට අධික රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයකට ඔසවා තබමින්, දෙරට අතර සබඳතාව ‘විස්තීර්ණ හවුල්කාරිත්වයක්’ (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති ටෝ ලාම් එකඟතාව පළ කළහ. ජනාධිපති කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායකයන් දෙපළ අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම තීරණයට එළඹුණි.

අධිරාජ්‍ය විරෝධී අභිමානය සහ ආර්ථික පරිවර්තනය
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ලෝක දේශපාලන සිතියමේ වියට්නාමය යනු අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලෙන අභිමානයක් මෙන්ම ආර්ථික පරිවර්තනයේ ජීවමාන සාක්ෂියක් බවයි. හෝ චි මිං වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මඟපෙන්වීමෙන් වියට්නාමය අත්කරගත් දියුණුව පීඩිත ජාතීන්ට පන්නරයක් බව ද ඔහු සිහිපත් කළේය. ටෝ ලාම් සිය ධුරයට පත්වීමෙන් පසු දකුණු ආසියානු කලාපයේ සිදු කරන ප්‍රථම රාජ්‍ය සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම දෙරටේ ගැඹුරු මිත්‍රත්වය පිළිබිඹු කරන සංකේතාත්මක අවස්ථාවක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඩොලර් බිලියනයේ වෙළෙඳ ඉලක්කය
දෙරට අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට මෙහිදී ඉලක්ක කරන ලදී. මෙම සංචාරයට වියට්නාම් ව්‍යාපාරික නියෝජිතයන් 50 දෙනෙකු එක්ව සිටීම ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරන්නක් බව ද හඳුනා ගැනිණි. පුනර්ජනනීය බලශක්තිය, යටිතල පහසුකම්, සංචාරක සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා වියට්නාම් ව්‍යවසායකයන්ට මෙහිදී විවෘත ඇරයුමක් කළේය.

සෘජු ගුවන් ගමන් සහ කෘෂිකාර්මික සහාය
සංචාරක ව්‍යාපාරය සහ පුද්ගල සබඳතා නංවාලීම වෙනුවෙන් වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයාර් විසින් කොළඹ සිට හෝ චි මිං සහ හැනෝයි නගර අතර සෘජු ගුවන් ගමන් මෙම වසරේ සිටම ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය මෙහිදී ඇගයීමට ලක් විය. තවද, කෘෂිකාර්මික නවීකරණය පිළිබඳ වියට්නාමයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමටත්, මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක් සිදු කිරීමටත් වියට්නාම් රජය පියවර ගෙන තිබේ.

කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර නීතිය
වියට්නාම් ජනාධිපති ටෝ ලාම් සිය ප්‍රකාශයේදී අවධාරණය කළේ සාමය, ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් දෙරටම කැපවී සිටින බවයි. විශේෂයෙන්ම නැගෙනහිර මුහුද ඇතුළුව මුහුදු හා සාගරවල යාත්‍රා කිරීමේ නිදහස සහ ආරක්ෂාව ජාත්‍යන්තර නීතියට අනුකූලව පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.

දෙරට අතර විද්‍යාව, තාක්ෂණය, පොලිස් සහයෝගීතාව සහ සංස්කෘතික ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද නායකයන් ඉදිරියේ අත්සන් තැබිණි. හෝ චි මිංගේ ශ්‍රී ලංකා සංචාරයන් සිහිපත් කරමින් කොළඹ මහජන පුස්තකාලයේ ඇති එතුමාගේ පිළිරුවට උපහාර දැක්වීමට ද වියට්නාම් ජනාධිපතිවරයා එක් වීමට නියමිතය.