පාර්ලිමේන්තුවේදී අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දත්ත සහ සංඛ්‍යාලේඛන උපයෝගී කර ගනිමින් බිල්ලෙක් මවන්නට උත්සාහ කළද, ඇමැති උපාලි පන්නිලගේ එල්ල කරන ලද තර්කානුකූල පිළිතුර හමුවේ විපක්ෂ නායකවරයා දැඩි ලෙස අසරණ විය.
මෙහිදී සජිත් ප්‍රේමදාස චෝදනා කර සිටියේ රජය සතුව වත්මන් දරිද්‍රතාවය පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන නොමැති බවත්, රජය තවමත් 2019 පැරණි දත්ත මත යැපෙන බවත්ය. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාවක් නොමැතිව රජය දරිද්‍රතාවය මනින්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.


කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රකාශය හුදෙක් කරුණු නොදැන කරන ලද්දක් බව පෙන්වා දෙමින් ඇමති උපාලි පන්නිලගේ සභාව හමුවේ සජිත්ට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය.

“ගරු විපක්ෂ නායකතුමනි, පටලවා ගන්න එපා…” යනුවෙන් සිය පිළිතුර ඇරඹූ ඇමතිවරයා, සජිත් ප්‍රේමදාස “ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය” (HIES) සහ මාසිකව ප්‍රකාශයට පත් කරන “නිල දරිද්‍රතා රේඛාව” (Official Poverty Line) යනු කරුණු දෙකක් බව නොදැන දොඩවන බව පෙන්වා දුන්නේය. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම මාසයකම දරිද්‍රතා දත්ත යාවත්කාලීන කරන බවත්, ඒවා අන්තර්ජාලය පරීක්ෂා කළහොත් ඕනෑම අයෙකුට සොයාගත හැකි බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ උපාලි පන්නිලගේ, ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් පෙන්වා දුන්නේ 2024 වසරේ සියයට 25 ක්ව තිබූ දරිද්‍රතාවය, වත්මන් රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙල නිසා 2025 අප්‍රේල් වන විට සියයට 20.1 දක්වා පහත වැටී ඇති බවයි. මේ අනුව පසුගිය වසර එකහමාරක කාලය තුළ පමණක් මෙරට ජනතාව මිලියන 1.1 ක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට රජය සමත්ව ඇති බව සංඛ්‍යාලේඛන සහිතව තහවුරු විය.

ඇමතිවරයාගේ මෙම දත්තානුකූල පිළිතුර හමුවේ කිසිවක් කරකියා ගත නොහැකිව විපක්ෂ නායකවරයා නිහඬ වූ අතර, මූලික සංඛ්‍යාලේඛන පිළිබඳවවත් අවබෝධයක් නොමැතිව කටයුතු කරන සජිත් ප්‍රේමදාස පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙහිදී දැඩි ලෙස සිනහ පහළ කළහ.

සටහන | LankaRedNews