පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන් මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වන කෘෂි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආරම්භ කෙරිණි. කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

ඒ අනුව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ කුරටිහේන වැව පෝෂක මාර්ගය රුපියල් ලක්ෂ 18කට අධික පිරිවැයකින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය මාස තුනක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇත. මීට සමගාමීව පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතුපොළ වැව සහ තොරවටාන වැව සම්බන්ධ කරන කෘෂි මාර්ගය ද රුපියල් ලක්ෂ 43ක මුදලක් වැය කරමින් සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණි.

මීට අමතරව නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරගස්වැව පෝෂක මාර්ගයේ සංවර්ධන කටයුතු ද ආරම්භ වූ අතර, ඉදිරියේදී පහළ බූගහවැව, කොටුවැල්ල වැව, ගොවිපල්ලිය, අචිරිගම වැව, වගායාමඩුව වැව, වීරවැව සහ දමුණ අමුණ යන ප්‍රදේශ ආවරණය වන පරිදි වැව පෝෂක මාර්ග රැසක් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘති හරහා පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ අස්වැන්න වඩාත් කාර්යක්ෂමව සහ අඩු පිරිවැයකින් වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නැංවීම මගින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාවයි.