ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියන් (Gevorg Sargsyan) ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සහ රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවයි.

රජයේ ආදායම් උපයන ආයතන නවීකරණය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දීමට නියෝජිත පිරිස කැමැත්ත පළ කළහ. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති ‘රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ’ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා වූ අතර ඉදිරියේදී එම කාර්යාංශය සමඟ සමීපව කටයුතු කිරීමට ලෝක බැංකුව එකඟ විය.

මීට අමතරව, රාජ්‍ය ආයතන තුළ දූෂණය සහ අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. නිලධාරීන්ගේ විනය සහ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර අත්දැකීම් සහ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන රිචඩ් වෝකර් (Richard Walker), ඇන්තනි ඔබේසේකර (Anthony Obesekere) සහ පාලන විශේෂඥ (Governance Specialist) ටිල් හාට්මන් (Till Hartman) යන අය ද සහභාගී වූහ.