ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) නියෝග කළේය.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ කරුණු දක්වමින් කියා සිටියේ, රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප 3ක් මත මුදාහල කපිල චන්ද්‍රසේන සැකකරු සමඟ මොවුන්ට කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති බවයි. එමෙන්ම මොවුන් කපිල චන්ද්‍රසේනව හඳුනන්නේවත් නැති බවත්, රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අධිකරණ ක්‍රියාවලිය නොමඟ යවමින් මෙලෙස මුදලට ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීම බරපතළ වරදක් බැවින්, සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.