අධිකරණයට විධායකය විසින් අතපෙවීම් සිදුකරන බව පවසමින් ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටින යෝජනාවක්, විපක්ෂය විසින් අද (06) කතානායක ජගත් වික්‍රමරත්න වෙත බාර දෙනු ලැබීය. විපක්ෂ නායකගේ උපදෙස් පරිදි සකස් කළ මෙම යෝජනාව බාර දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය සංවිධායකවරුන් වන ජේ.සී. අලවතුවල සහ අජිත් පී. පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

කෙසේ වෙතත්, විපක්ෂයේ මෙම හදිසි “අධිකරණ ප්‍රේමය” පිටුපස ඇත්තේ දූෂණ වංචා සම්බන්ධයෙන් වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති විමර්ශන හමුවේ ඇති වී තිබෙන දැඩි භීතිකාව බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය පාලන සමයන්හි සිදුවූ මහා පරිමාණ දූෂණ සහ වංචා එකින් එක හෙළිදරව් වෙමින් පවතින පසුබිමක, ඒවාට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීම වැළැක්වීම සඳහා විපක්ෂය මෙලෙස පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස “විධායකයේ අතපෙවීම්” යන ලේබලය භාවිත කිරීමට උත්සාහ දරමින් සිටී.

විපක්ෂය අභ්‍යන්තරයෙන් කැබලිවලට බෙදී අතිශය දුර්වල මට්ටමක පසුවුව ද, තමන්ට එරෙහිව එන දූෂණ විමර්ශන ‘දේශපාලන පළිගැනීම්’ ලෙස හංවඩු ගැසීමටත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විවාද ඉල්ලමින් ජනතාව නොමඟ යැවීමටත් ඔවුන් උපරිම උත්සාහයක නිරත වේ. විධායකය අධිකරණයට බලපෑම් කරන බව පවසමින් ගෙන ආ මෙම යෝජනාව, සැබවින්ම සිය දූෂිත අතීතය වසා ගැනීමට තනන ලද දේශපාලන පළිහක් පමණක් බව පැහැදිලි වෙමින් පවතී.

සටහන | LankaRedNews