ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අලුත්කඩේ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන දෙදෙනායි. මෙම පුද්ගලයින් දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටින කපිල චන්ද්‍රසේන කිසිසේත්ම හඳුනන්නේ නැති බවත්, රුපියල් 15,000 බැගින් වූ මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවත් කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ අනාවරණය කළේය.
ඇප තැබීම සඳහා පැමිණි මොවුන් සම්බන්ධයෙන් අධිකරණ කාර්ය මණ්ඩලයට ඇති වූ සැකය මත කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවයි.
මෙම සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා, ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.