කුලියාපිටිය ප්‍රදේශයේදී මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් සහ විශේෂඥයින්ගේ මතයට පටහැණිව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව ප්‍රකාශ කළේය.
මැයි 4 වැනිදා ගම්මන්පිල මහතා සිදු කළ මාධ්‍ය සාකච්ඡාවකදී අදාළ මරණය සම්බන්ධයෙන් පදනම් විරහිත කරුණු ඉදිරිපත් කර ඇති බවත්, මරණකරුගේ බිරිඳ විසින් මරණය සැක සහිත බවට පොලීසියට පැමිණිලි කර ඇති බවට ඔහු කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. මෙවැනි පරස්පර ප්‍රකාශ හේතුවෙන් ඉදිරියේදී ගම්මන්පිල මහතාට විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දීමට කැඳවීම් කිරීමට සිදුවනු ඇති බව ඔහු පැවසීය.
මීට අමතරව, කුලියාපිටිය පොලිසිය විසින් එම සිද්ධියට අදාළව නිවසක තිබී සොයාගත් ජංගම දුරකතනයක්, සිම්පත් 7ක්, පෙන් ඩ්‍රයිව් එකක් සහ බැංකු කාඩ්පත් ඇතුළු ද්‍රව්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
නීතිය පිළිබඳ අවබෝධයක් ඇති අයෙකු මෙලෙස සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශ කිරීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉදිරියේදී කුලියාපිටිය අධිකරණයේදී ද සාක්ෂි මෙහෙයවීමට පොලීසිය සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය. විමර්ශනවලට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට, ගැටලු ඇත්නම් නීත්‍යානුකූලව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.