මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල සිදුකර ඇත්තේ රංග රාජපක්ෂ විසින් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ මුදල් වංචාව පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජගත වෙමින් පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළේය.

එමෙන්ම රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය හරහා විවිධ පාර්ශ්ව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී දැඩි අවධානයක් යොමු කළේය. “මරණය සැකකටයුතු බවට බිරිඳ පවසන කරුණු හමුවේ, පාර්ලිමේන්තුවේ නොසිටින පුද්ගලයන් දෙදෙනෙකු මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර තිබෙනවා. මේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් රංග රාජපක්ෂගේ ඥාතීන් දැඩි කම්පනයට පත්ව සිටින අතර, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කිරීමට එම ඥාතීන් පියවර ගනිමින් සිටිනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආගමික වතාවත් අවසානයේදී මෙම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ඥාතීන් විසින් නිල වශයෙන් පැමිණිලි කිරීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අවධාරණය කළේය.