විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත් දසනායක, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, පාඨලී චම්පික රණවක, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන දේශපාලනඥයන්ට එරෙහි නඩු කටයුතු ඉදිරියේදී විභාග වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ජනතාව අපේක්ෂා කරන පරිදි දූෂිතයන්ට නීතිය අනුව දඬුවම් ලබාදීම බවත්, ඒ සඳහා පවතින නඩු කටයුතු කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය. නඩු විභාග කල් යෑම හෝ දින වෙනස් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, වත්මන් රජය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරමින් නඩු විභාග වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

“දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු හරහායි. නඩු දින ළඟ ළඟ වැටිලා තිබෙනවා. හොරුන් දඬුවම් ලැබිය යුතු බව රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන හෝ නව නීති අවශ්‍ය නම් ඒ පියවර ගැනීමටත් අප සූදානම්,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙවැනි දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සතුටට කරුණක් බවද හෙතෙම අවධාරණය කළේය.