මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් වෙනත් පාර්ශ්වයක් වෙත හුවමාරු වීම සම්බන්ධයෙන් අමෙරිකානු FBI සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව මේ වන විට විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් ස්ථාවර නියෝග යටතේ ඉල්ලා සිටි හදිසි විවාදය පස්වරු 3.30 සිට පස්වරු 5 දක්වා සභාවේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, වංචාව අනාවරණය වූ වහාම විදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරමින් අදාළ මුදල් සොයා ගැනීමට සහ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට සියලු පියවර ගෙන ඇති බවයි.

පද්ධතිමය දුර්වලතා පිළිබඳව සොයා බැලීම සහ මෙවැනි සිදුවීම් අනාගතයේදී වළක්වා ගැනීමට අවශ්‍ය නවීන තාක්ෂණික ආරක්ෂණ පියවරයන් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජාත්‍යන්තර ආයතනවල ද සහාය ඇතිව සිදුකරන මෙම විමර්ශනවලදී සැකකරුවන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට සහ වංචා කරන ලද මුදල් යළි ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය දැඩි විශ්වාසයකින් පසුවන බව අමාත්‍යවරයා පැවසීය.