එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත පදනම් වූ බදු (VAT) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් මගින් වැට් බද්ද 20.5% දක්වා වැඩි කර ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බව ඔහු පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි, දැනට පවතින සංකීර්ණ බදු ක්‍රමය සරල කිරීමේ පියවරක් ලෙස මෙම සංශෝධනය සිදුකර ඇති බවයි. මෙහිදී සිදුවන්නේ මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතනවලින් වෙන් වෙන්ව අය කරන ලද බදු වර්ග දෙකක් එකට එකතු කිරීමක් පමණි.

ඒ අනුව, මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් අය කරන ලද 18% ක වැට් බද්ද සහ 2.5% ක සමාජ ආරක්ෂණ බද්ද එකට ඒකාබද්ධ කර, ජූලි 01 වැනිදා සිට 20.5% ක තනි වැට් බද්දක් ලෙස අය කරනු ලැබේ. මෙම සංශෝධනයත් සමග බැංකු සහ මූල්‍ය ආයතන සඳහා මින් ඉදිරියට සමාජ ආරක්ෂණ බද්ද වෙනම ගෙවීමට අවශ්‍ය නොවන බවත්, එම බදු වර්ගයෙන් එම ආයතන නිදහස් වන බවත් නිශාන්ත ජයවීර වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පියවර මගින් බැංකු සහ මූල්‍ය ආයතනවලට බදු වාර්තා දෙකක් ඉදිරිපත් කිරීම වෙනුවට එක් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ පහසුව සැලසෙන බවත්, මෙය එම ආයතනවලින්ම කලක සිට ඉදිරිපත් වූ ඉල්ලීමක් බවත් ඔහු පවසයි. ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ පරිදි බදු ක්‍රමය සරල කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් මිස, මෙය අලුතින් බදු පැටවීමක් නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.