ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා එළඹෙන 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

අප්‍රේල් 19 සහ 20 දෙදින තුළ ක්‍රියාත්මක මෙම සංචාරය අතරතුර ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ලෙස මෙය සැලකේ.

මෙම නිල සංචාරයේ විශේෂත්වයක් වන්නේ, දෙරටේ සහයෝගීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් නව අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබීමයි. විශේෂයෙන්ම මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී පුළුල් අවධානයක් යොමු කෙරෙනු ඇත.

එසේම, සිය සංචාරය තුළදී ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන දේශපාලන නියෝජිතයින් සහ ප්‍රජා නායකයින් හමුවීමට ද නියමිත අතර, ඉහළ පෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් ද ඔහු සමඟ මෙම සංචාරයට එක්වනු ඇත.