ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ, මෙරට ජනතාව තැබූ අසීමිත විශ්වාසය සහ බලාපොරොත්තු කිසිදු විටෙක කඩ නොකරන බවත්, පැරණි දූෂිත පාලනයෙන් බංකොලොත් වූ රට ගොඩනැඟීමේ අසීරු ගමන සාර්ථකව පෙරට ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

විශේෂ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, 2022 ජනතා අරගලය සමයේ ජාතික ජන බලවේගය බලය ලබාගැනීමට උත්සාහ නොකළේ ජනවරමට ගරු කළ නිසා බවයි. වීදි බැස පාලකයින් පලවා හැරිය හැකි වුවද රාජ්‍ය බලය ලබාගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්දයකින් පමණක් බව පෙන්වා දුන් ඔහු, සන්නද්ධ අරගලයකින් තොරව, ජනතාව සංවිධානය කර ප්‍රතිපත්තියක් මත පිහිටා මහජන ඡන්දයෙන් බලය ලබාගැනීමේ නිවැරදි මාවත තෝරාගත් බැවින් අද වන විට රට ස්ථාවරව පාලනය කිරීමට හැකිව ඇති බව පැවසීය.

එසේම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර මතභේද පවතින බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන ලේකම්වරයා, ඒවා විහිළු සහගත ප්‍රකාශ බව කියා සිටියේය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීමේ මුල් අවස්ථාවේ සිටම ඇය සහ ජවිපෙ නායකත්වය අතර පැවතියේ අන්‍යෝන්‍ය ගෞරවයක් හා සහෝදරත්වයක් බවත්, ආණ්ඩුවේ කණ්ඩායම එකම පවුලක් මෙන් සුහදව සහ සාමූහිකව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණ සමයේ ජනතාව මුලා කිරීමට පොරොන්දු පත්‍රිකා බෙදාහැරීම වෙනුවට, විද්වතුන් සහ වෘත්තිකයන් එක්ව විද්‍යාත්මකව සැකසූ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව බලයට පත්වූ බවත්, බලයට පත්වූ විගස එය කැබිනට් මණ්ඩලය හරහා රජයේ නිල ප්‍රතිපත්තිය බවට පත් කර එම ඉලක්ක එකිනෙක ජයගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

ගතවූ වසර දෙකක කාලය තුළ රට මුහුණ දුන් අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ටිල්වින් සිල්වා සඳහන් කළේ, බංකොලොත් වූ රාජ්‍යයක් භාරගෙන විදේශ ණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි කළමනාකරණය කරමින් රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවයි. මැදපෙරදිග යුද ගැටුම් සහ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම් හමුවේ වුවද පෝලිම් යුගයක් බිහිවීමට ඉඩ නොතබා ජනජීවිතය සහ අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමකින් තොරව පවත්වා ගැනීමට රජය සමත් වූ බවද ඔහු කීය. එසේම ප්‍රභූ දේශපාලන සංස්කෘතිය වෙනුවට නාස්තිය, වරප්‍රසාද, සයිරන් නලා සහ ඥාති සංග්‍රහයෙන් තොර ජනතා හිතෛෂී පාලන ක්‍රමයක් බිම් මට්ටමේ ස්ථාපිත කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය වසර 31 පුරා ජවිපෙ ප්‍රධාන ලේකම් ධුරය හොබවමින් ලැබූ අත්දැකීම් සිහිපත් කළ ඔහු, ඉදිරි වසර තුනක කාලය තුළද රට පවතින අර්බුදවලින් මුදාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන බවත්, ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරි මැතිවරණයකදීද තහවුරු කරනු ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.

About Author
editor
View All Articles