පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් පසුගිය 20 වැනිදා ජනාධිපතිවරයා වෙත මෙම ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කර ඇත. තම සැමියා අදාළ විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහයෝගය දක්වන බැවින්, ඔහුට එරෙහිව යළි රැඳවුම් නියෝග නිකුත් නොකර අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇය එමඟින් ඉල්ලා සිටී. මේ දක්වා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටි වෙනත් කිසිදු පුද්ගලයෙකුට ලබා නොදුන් සුවිශේෂී අවස්ථාවක් සුරේෂ් සලේ වෙත ලබා දී ඇති අතර, ඔහුව අධිකරණ විනිසුරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දැඩි සුපරීක්ෂණය යටතේ රඳවා තබා ඇති බව ද වාර්තා වේ.
මේ අතර, තවත් කණ්ඩායමක් විසින් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සුරේෂ් සලේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයක මතවාදයක් ප්‍රචාරය කිරීමට පියවර ගෙන තිබුණි. ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ සොහොයුරා සම්බන්ධ කරගනිමින් දියත් කරන ලද එම මාධ්‍ය මෙහෙයුමෙන් අනතුරුව ඔවුන්ව අත්හැර දමා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ සිද්ධිය සමාජයේ හාස්‍යයට ලක්ව ඇත්තේ “මගේ දරු පැටව්” ගීතයේ මව තම දරුවන් නැවත එනතුරු බලා සිටින අහිංසක අපේක්ෂාව සිහිගන්වමිනි. මෙහිදීත් තමන් ආරක්ෂා කළ හැකි පුද්ගලයෙකු ගේ සම්ප්‍රාප්තිය තෙක්, “කන්න බෑ… නින්ද නෑ…” කියමින් කුඩාම කරුණක් පවා ආරක්ෂාවට යොදාගන්නා ආකාරයක් දැකිය හැකි බව සමාජයේ කතාබහට ලක්ව වේ.