දූෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම සහ දේශපාලන අධිකාරිය අතර පවතින සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළේය.

මෙම නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සහ රාජ්‍ය ආයතන දැනටමත් රට සතුව පවතින බවත්, එම විමර්ශනවලට ප්‍රධානතම බාධාව බවට පත්ව ඇත්තේ වත්මන් විපක්ෂය බවත් ජනාධිපතිවරයා චෝදනා කළේය.

ජනාධිපතිවරයා සිය කතාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් සාධාරණව සිය රාජකාරිය ඉටුකරන විට විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති ආකාරය පෙන්වා දුන්නේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ආනන්ද විජේපාල, සහ දිලිප් පීරිස් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් දේශපාලන වාසි තකා ඉලක්ක කරගැනීම පිළිබඳව හෙතෙම කනගාටුව පළ කළේය.

රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු වූ පැරණි අපරාධයන් සහ ඝාතන පිළිබඳව කරුණු හෙළිදරව් කිරීම රට පාවාදීමක් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, එය වඩාත් ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය පියවරක් බව අවධාරණය කළේය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙන්ම, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ පොද්දල ජයන්ත යන අයට එල්ල වූ ප්‍රහාරවල සුලමුල සොයා වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වත්මන් පාලනයේ මූලික වගකීමක් බව ඔහු කියා සිටියේය.

“දේශපාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරනවා” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 3390ක්, කොකේන් කිලෝග්‍රෑම් 304ක්, අයිස් කිලෝග්‍රෑම් 5543ක් සහ කුෂ් කිලෝග්‍රෑම් 1521ක් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවද ඔහු සභාගත කළේය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ සිදුකරන මෙහෙවර අගය කළ ජනාධිපතිවරයා, එහෙත් අතීතයේදී දේශපාලන වුවමනාවන් වෙනුවෙන් එම ආයතන සතු බලය අවභාවිත කළ නිලධාරීන් සිටී නම් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට රජය කිසිසේත් පසුබට නොවන බවද පෙන්වා දුන්නේය.