හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයකට බාධා කර නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ වාචික දේශන අද (25) අවසන් කෙරිණි. ඒ අනුව, මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මස 28 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
නඩු නිමිත්තට අනුව, 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනකදී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ වාහනය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා උරණ වී ඇත. එහිදී තමන් පසු කරගෙන ගිය පොලිස් රථයේ මඟ හරස් කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට පහරදී තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී, විත්තිකරුවන් ගිනි අවි පෙන්වා පොලිස් නිලධාරීන්ට මරණ තර්ජනය කළ බවට ද කරුණු වාර්තා විය. සියලු පාර්ශ්වයන්ගේ වාචික දේශන සලකා බැලීමෙන් අනතුරුව අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම කෙරිණි.