පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන යන නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ක්‍රියාවලිය තුළ තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, එය වළක්වා තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය හෙබවූ සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික බිඳවැටීම සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඔහුට එරෙහිව රට තුළ දැවැන්ත මහජන විරෝධයක් පැනනැගුණි. එම මහජන අරගලය හමුවේ සිය බිරිඳ ද සමගින් දිවයිනෙන් බැහැරව පලා ගිය ඔහු, පසුව විදේශගතව සිටියදීම සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය. එවැනි පසුබිමක් තුළ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන නව විමර්ශන හමුවේ අධිකරණයේ රැකවරණය පැතීමට ඔහු මෙලෙස කටයුතු කර තිබේ.