පැය කිහිපයක් ඇතුළත මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටහයක් (කෝටි එකහමාරකට අධික ධනයක්) ගිල දැමීම සම්බන්ධයෙන් පවතින මහා මූල්‍ය වංචා නඩුවකට උසාවි කුඩුවට නැගී, එතැනින් එළියට බසින විට රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ ගෝලබාල රැල විසින් රඟදක්වන ලද පහත් පෙළේ දේශපාලන සර්කස් එක දැන් මුළු රට හමුවේම හෙළිදරව් වී තිබේ.

උසාවි දොරකඩ ගොල්ලවරුන්ගේ මෝඩ සංදර්ශනය

අධිකරණයට නඩුවක් සඳහා කැඳවූ විට නීතිගරුකව උසාවියට ගොස් ඒ සඳහා මුහුණ දෙනවා වෙනුවට, උසාවි ගේට්ටුව ළඟට පාක්ෂිකයන්, මැරයන් සහ ගොල්ලවරුන් දහස් ගණනක් ගාල් කරවාගෙන කලබල ඇති කිරීමේ කුපාඩි සම්ප්‍රදාය පටන් ගත්තේ රාජපක්ෂලාය. අද රාජපක්ෂ අනුහසින් දේශපාලන පින් බත් කන රනිල් වික්‍රමසිංහලාද කරන්නේ එම නින්දිත, තුප්පහි විකාරයමයි.

උසාවියෙන් එළියට බසින තැන හිතාමතාම තෙරපීමක් හදාගෙන, ආරක්ෂකයන් ලවා මිනිසුන් පස්සට තල්ලු කරමින් දඟලන අතරතුර සිරස මාධ්‍යවේදියාගේ කැමරාව වැදුණු සුළු සිදුවීම, “රනිල් වික්‍රමසිංහව ඝාතනය කරන්න ආපු කුමන්ත්‍රණයක්”, “රනිල්ට ගහන්න ආපු පාතාල සැලසුමක්” හැටියට හුවා දක්වන්නට තරම් රනිල්ගේ කල්ලිය නින්දිත ලෙස බංකොලොත් වී තිබේ.

රනිල්ට එළියේ ඉන්න බැරි තරම් ආරක්ෂාව පිළිබඳ බයක් සහ භීතිකාවක් තිබේ නම්, කළ යුත්තේ උසාවි දොරකඩ නරි නාටක නැටීම නොවේ; ගන්නා ලද ඇපය තමන්ම කැමැත්තෙන්ම අවලංගු කරගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට රිංගා ගැනීමයි! එසේ නැතහොත් අර සුරේෂ් සලේ ජාතික රෝහලට වෙලා ඩියෝඩ්‍රන්ට් ගහගෙන නිදාගෙන ඉන්නවා වගේ, බන්ධනාගාර රෝහලට වී පැය විසිහතර පුරාම රජයේ සම්පූර්ණ ආරක්ෂාව විඳිමින් සිටිය හැකිය. එසේ නොකර මහජනයාටත් මාධ්‍යවේදීන්ටත් කරදර කරමින් පාරවල් ගානේ වැළපෙන්නේ කුමකටද?

“මිස්ටර් ක්ලීන්” මිථ්‍යාව සුනුවිසුනු වී යාම

රනිල්ගේ පාක්ෂිකයන් මේ කැමරා සිදුවීමක් අල්ලාගෙන බෙරිහන් දෙන්නේ මාධ්‍යවේදියාට ඇති ආදරයකට හෝ ආරක්ෂාව පිළිබඳ කැක්කුමකට නොවේ. දශක ගණනාවක් තිස්සේ මවාපෑ ඊනියා “මිස්ටර් ක්ලීන්” (Mr. Clean) ලේබලය මේ මහා මහජන මුදල් අවභාවිත නඩුවත් සමඟ සුණුබිසුණු වී, මහ දවාලේ රෙදි ගැලවී යාම නිසා ඇති වූ අන්ත ලැජ්ජාව සහ වේදනාව වසා ගැනීමටයි.


යුද්ධය කළේ තමන් යැයි කී ගෝඨාභය රාජපක්ෂ, “අනේ මම යුද්ධයක් කළේ නෑ, මම නිකන් කෝඩිනේෂන් එකක් විතරයි කළේ” කියා ඇත්ත වමාරන විට බයියන්ගේ ආතල් එක කුඩුපට්ටම් වී ගියාක් මෙන්ම, “අපේ රනිල් සර් හොරකම් කරන්නේ නෑ, එයා හරි මහත්වරයෙක්” කියමින් හිටපු එජාප පාක්ෂිකයන්ගේද සිහින ලෝකය මේ කෝටි ගණනක නඩුවෙන් බිමටම සමතලා වී තිබේ.

දැන් රනිල්ගේ කල්ලියට මුහුණ දෙන්නට බැරි තරම් ලැජ්ජාවකි. රූපවාහිනිය දමන විට, පත්තරයක් බලන විට රනිල්ගේ රුපියල් ලක්ෂ එකසිය හැටහයක මුදල් නාස්තිය ගැන ප්‍රවෘත්ති ඇසෙන විට රනිල්වාදීන්ට ටීවී එක සහ දුරකථනය පොළොවේ ගසා ගන්නට තරම් කේන්තියක් එයි. එම මානසික වියරුවෙන් ගැලවෙන්නට ඔවුහු වරෙක දිලිත් ජයවීරට බනිති, තව වරෙක අනුර කුමාරට බනිති, විමර්ශන නිලධාරීන්ට සහ නඩුකාරයන්ට පවා දොස් නගති. කිසිවක් කරකියාගත නොහැකි වූ තැන, මෙන්න අද රනිල් වික්‍රමසිංහව බේරාගැනීමට කැමරා ශිල්පියෙකු පිටින් දමා මහජන අවධානය වෙනතකට හරවන්නට දඟලති.

අධිකරණ බලය නාස්ති කරන දේශපාලන අවස්ථාවාදය

ඇත්තෙන්ම මෙවැනි සුළු තල්ලු කරගැනීමක් හෝ පහරදීමක් යනු පොලිසි ගානේ කුමන්ත්‍රණ කතා ගොතමින්, මිනිසුන් රිමාන්ඩ් කරමින් දවස් ගණන් නඩු ඇසිය යුතු බරපතළ අපරාධයක් නොවේ. 1988 අංක 72 දරන පනතින් පිහිටුවා ඇති සමථ මණ්ඩල හරහා වසරකට මෙවැනි ආරවුල් ලක්ෂ දෙකහමාරක් සමථයකට පත් කෙරේ. සුළු තුවාල, පහරදීම් සහ රුපියල් මිළියනයට අඩු ආරවුල් විසඳා ගැනීමට ඕනෑ තරම් නීතිමය ඉඩකඩ තිබේ.

එහෙත් රනිල්ගේ පාර්ශ්වයට අවශ්‍යව ඇත්තේ ප්‍රශ්නය විසඳා ගැනීම නොව, තමන්ගේ මහා පරිමාණ හොරකම සහ දූෂණ නඩුව යටපත් කර ගැනීම සඳහා රට පුරා බොරු භීතිකාවක් මවාපෑමයි. මේ තුච්ඡ දේශපාලන නාටකය, “මිස්ටර් ක්ලීන්” නිරුවත් වීම වසාගැනීමට නටන අමු අමුවේ කෙරෙන “මෝඩ ජෝගියක්” එකක් මිස වෙන කිසිවක් නොවේ. රටේ මහජන මුදල් කාබාසිනියා කළ හොරුන් අධිකරණය ඉදිරියේ විත්තිකරුවන් වන විට, මෙවැනි කිසිදු හරයක් නැති නාඩගම්වලින් තවදුරටත් මේ රටේ ජනතාව මුළා කළ නොහැකිය.

සටහන | Sachith Liyanage