මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන බවට ප්‍රසිද්ධ ‘සිරිලිය සවිය’ සංවිධානය විසින් රුපියල් මිලියන ගණනින් මුදල් එකතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි පවසමින් සිරිලිය සවිය සංවිධානය රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් මුදල් ආධාර ඉල්ලා ඇති අතර, ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) විසින් ද රුපියල් මිලියනයක මුදලක් ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සිදුවීමට අදාළව, එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් කාරියවසම්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මහරගම අපේක්ෂා රෝහල වෙත අදාළ පෙට් ස්කෑන් යන්ත්‍රය ලැබී ඇත්තේ චීන රජය මගින් සිදුකරන ලද පරිත්‍යාගයක් ලෙසිනි.
එලෙස පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑන් යන්ත්‍රයක් වෙනුවෙන් මුදල් එකතු කිරීම හරහා යම් මූල්‍ය වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.