භූතානයේ සිදු කළ සිය පස් දින නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණියාය. අග්‍රාමාත්‍යවරිය දිවයිනට පැමිණියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතය.

දෙදහස් විසි හය සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම ඇතුළු කටයුතු සඳහා අගෝස්තු තිස් එක වැනි දින සිට සැප්තැම්බර් පස් වන දින දක්වා මෙම නිල සංචාරය සිදු කර ඇත. සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී තිබේ.

සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය භූතාන රජු වන ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් හමුවී සාකච්ඡා කර ඇති අතර භූතාන අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ සහ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍ය යීසං දේ තපා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පවත්වා තිබේ.

මෙම සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ භූතානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, දෙරටට පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැලසී ඇත. අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය, තිරසාර සංවර්ධනය සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ද මෙම සංචාරය වැදගත් අවස්ථාවක් වී තිබේ.