ශ්‍රී ලංකාවේ වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන නව තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන වසර තුනක (03) කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත්වල මධ්‍යම පරිමාණ කිරි ගොවි ව්‍යවසායකයින් සවිබල ගැන්වීමයි. විශේෂයෙන් දිනකට කිරි ලීටර 20 සිට 100 දක්වා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ගොවීන් සඳහා නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, විධිමත් පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවීම සහ තෘණ නිෂ්පාදන සැපයුම් ජාලය ශක්තිමත් කිරීම මෙමඟින් සිදු කෙරේ. සෞඛ්‍යාරක්ෂිත කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කිරීම හරහා ජනතාවගේ කිරි පරිභෝජනය ඉහළ නැංවීම ද රජයේ අපේක්ෂාවයි.
ව්‍යාපෘතියේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය වෙනුවෙන් අදාළ පළාත් හතර තුළින් දිස්ත්‍රික්ක දෙක බැගින් තෝරාගෙන, එම සෑම දිස්ත්‍රික්කයකම පශු වෛද්‍ය කොට්ඨාස තුනක් (03) බැගින් විමර්ශනයට ලක් කිරීමට නියමිතය. එම කොට්ඨාසවල ආදර්ශ ගොවිපොළ තුන බැගින් ස්ථාපිත කරමින්, සමස්ත පළාත් හතර පුරා විසිරුණු ආදර්ශ ගොවිපොළ 24ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළ කර ඇති අතර, එමඟින් වියළි කලාපයේ ග්‍රාමීය ආර්ථිකයට නව ප්‍රබෝධයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.