යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කරමින් මාලදිවයින සමඟ එක්වන ලෙස මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. සංවර්ධිත සහ තිරසර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ ප්‍රමුඛ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ගමනේදී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බව අවධාරණය කළේය.

කොළඹදී පැවැති මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, දකුණු ආසියාවේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයන්ට විශිෂ්ට අවස්ථා පවතින බවයි. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇති බැවින්, ඒ සඳහා එක්වන ලෙස ඇය මාලදිවයින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියාය.

දෙරටේ දේශපාලන විශ්වාසය සහ ජනතාව අතර පවතින සුහදත්වය මත ගොඩනැඟුණු මිත්‍රත්වය අනාගතයේදී බහුවිධ සහයෝගීතාවන් දක්වා වර්ධනය කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති මොහොමඩ් මුයිසු මෙහිදී පැවසීය. මාලදිවයින ඉන්දීය සාගරයේ නැගී එන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වෙමින් පවතින බවත්, එමගින් ජාත්‍යන්තර සමාගම්වල විශ්වාසය දිනා ගැනීමට හැකිවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

2025 වසරේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මාලදිවයින ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක සහෝදරත්වයේ පරිත්‍යාගය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කෘතඥ පූර්වකව සිහිපත් කළාය. 2025 වසරේදී දෙරට අතර වෙළෙඳ පිරිවැටුම ඇමෙරිකානු ඩොලර් මිලියන 137ක් වුවද, එය පවතින සැබෑ විභවයට වඩා අඩු මට්ටමක පවතින බැවින් වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළාය. මාලදිවයිනේ සංචාරක ක්ෂේත්‍රයේ 20,000කට අධික ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සේවය කිරීම දෙරටේ සබඳතාවයේ ශක්තිය විදහා දක්වන්නකි.

ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරන බවත්, ‘නිල් ආර්ථික’ ව්‍යාපෘති හරහා දෙරටේම ජනතාවට සෞභාග්‍යය උදා කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම අවස්ථාවට මාලදිවයින් ආර්ථික සංවර්ධන අමාත්‍ය මොහොමඩ් සයීඩ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.