ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කරන බවට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැනුම් දුන් බැවින් විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවූ බව ප්‍රකාශ කළද, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙවැනි විරෝධතා මගින් දෙස් විදෙස්හි භික්ෂූන් වහන්සේලාගේ උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු වන බවයි.

කොළඹ විහාරමහා දේවී උද්‍යාන පරිශ්‍රයේ සත්‍යග්‍රහ භූමියේ සිට මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකළ උලපනේ සුමංගල හිමියන් සඳහන් කර සිටියේ, ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පියවර ගන්නා බැවින් සිය සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බවයි.

එහෙත්, ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ඉල්ලා විරෝධතාවල නිරත මහා සංඝරත්නය වෙත ශාසනාලයෙන් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා, මෙවැනි විරෝධතා පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය සමාජය තුළත් ජාත්‍යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය කෙලෙසීමට ඇතැම් පිරිස් කටයුතු කරන බැවින් ඊට කිසිසේත් ඉඩ නොතබන ලෙස අවධාරණය කර තිබේ.

භික්ෂූන් වහන්සේගේ අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව පෙන්වා දෙන මහානායක හිමිවරුන්, ඥාණසාර ස්ථවිර සම්බන්ධ ගැටලුව නීත්‍යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට පමණක් රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදුකර ඇති බව පැහැදිලි කරයි. කිසිදු අර්බුදයක් හමුවේ වුවද ශාසනික විනය හා සංඝ සාමග්‍රිය ආරක්ෂා කරමින්, අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කරගත යුතු බව පවසන උන්වහන්සේලා, “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යොභාවාය” යන බුද්ධෝපදේශය අනුව මහජන ප්‍රසාදය වර්ධනය වන අයුරින් කටයුතු කරන ලෙස සමස්ත සංඝරත්නයට සිහිපත් කරති.

මීට අමතරව, මෙම සත්‍යග්‍රහය අත්හිටුවීමට සිදුව ඇත්තේ විහාරමහා දේවී උද්‍යාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට අධිකරණය විසින් අවස්ථා දෙකකදීම සත්‍යග්‍රහයේ නිරත පාර්ශ්වයට නියෝග නිකුත් කර තිබූ පසුබිමකය.

එමෙන්ම, අධිකරණ තීන්දුවලට පිටින් කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා බදුල්ලේ ජනරැළියකදී පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී, ඥානසාර හිමියන් මුදාගැනීමේ පොරොන්දුවක් මත සත්‍යග්‍රහය නතර කළ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිස මවන මතය මුළුමනින්ම පදනම් විරහිත වී තිබේ.