ලෝක බලවතුන් සහභාගී වන එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් අනිද්දා (26) ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
“විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” (Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All) යන්න මෙවර මහා මණ්ඩල සැසියේ ප්‍රධාන තේමාව වේ.
විදේශ අමාත්‍යවරයා සැප්තැම්බර් 28 වන දින මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයට (General Debate) එක්වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය අභියෝග හමුවේ රටේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සංචාරය මහා මණ්ඩල ප්‍රධාන දේශනයට පමණක් සීමා නොවී, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ අවස්ථාවක් ලෙස ද ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මහා බලවතුන් අතර පවතින භූදේශපාලනික තරගකාරීත්වය මධ්‍යයේ සිය ස්වාධීනත්වය, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ජාතික අවශ්‍යතා ගෝලීය වේදිකාව හමුවේ තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණකි. 2025 වසරේ පැවති 80 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී ද විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ බහුපාර්ශ්වික ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර, මෙවර සංචාරය ද මෙරට ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතා එකිනෙක සම්බන්ධ කරගන්නා තවත් සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.