මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උසස් තාක්ෂණික සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අද (14) හමුවූ අවස්ථාවේදීය.
එම හමුවේදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූයේ හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය කෙරෙහිය. ජංගම යෙදවුම් හරහා වගාවට උචිත පස, ආර්ද්‍රතාව ඇතුළු සියලු పාරිසරික තත්ත්වයන් මැනගනිමින් කෘෂිකාර්මික කටයුතු මෙහෙයවීමේ තාක්ෂණය චීනය මේ වන විට දියුණු කර ඇති අතර, එම තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට හෙතෙම කැමැත්ත පළ කළේය. එමෙන්ම, මුහුදු ජලයේ පවා වගා කළ හැකි දියුණු දෙමුහුන් වී ප්‍රභේද මෙන්ම වියළි හා තෙත් කාලගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඉඩම් සකස් කිරීමේ තාක්ෂණය ද චීනය සතුව පවතින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් සමගාමී සංවර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මේ අතර, මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ වත්මන් කෘෂිකාර්මික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ, මෙරට සහලින් ස්වයංපෝෂිත රටක් වන අතර බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශීයව නිෂ්පාදනය කරන බවයි. මෙරටට අවශ්‍ය බොහෝ ගොවිපල යන්ත්‍රෝපකරණ ආනයනය කරන්නේ චීනයෙන් බවත්, ශ්‍රී ලාංකික ගොවීන් වෙනුවෙන් චීන රජය ලබාදෙන තාක්ෂණික පුහුණු වැඩසටහන් පිළිබඳව කෘතඥතාව පළ කරන බවත් ඔහු සඳහන් කළේය. තවද, මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා චීන සමාගම් දැනටමත් දායකත්වය ලබාදී ඇති අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා ද තාක්ෂණික සහයෝගය අපේක්ෂා කරන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.