අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන විෂයයන් සංඛ්‍යාව, ඉතිහාසය හා සෞන්දර්ය විෂයයන් ද ඇතුළත්ව විෂයයන් 7ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වී තිබේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ තොරතුරු සාකච්ඡාවට බඳුන් විය.
මෙහිදී වඩාත් කැපී පෙනෙන සහ කාලෝචිත යහපත් පියවරක් ලෙස 12 සහ 13 ශ්‍රේණි (උසස් පෙළ) සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුල ඇතුළත් කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. පාසල් අධ්‍යාපනය අවසන් කර සමාජගත වන සිසුන් නීතියට ගරු කරන, ආචාර ධර්මවලින් පිරිපුන් පුරවැසියන් බවට පත්කිරීම උදෙසා උසස් පෙළ විෂය මාලාවට මෙම අංශ එක්කිරීම අතිශය ප්‍රශස්ත පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.
2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කර ඇත. සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල මේ වන විට සකස් කර අවසන්ව ඇති අතර, ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම වෙනුවෙන් ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති බවත්, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම මෙන්ම ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම ඇතුළු කටයුතු ද මේ වන විට සක්‍රීයව සිදුවෙමින් පවතින බවත් කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය විය.