ජනතාව මුහුණ දෙන ගැටලු මොනවාදැයි සෘජුවම හඳුනාගැනීම සඳහා රජය විසින් ජනතාව හමුවට යාමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි.

උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙළට සමගාමීව ජනාධිපතිවරයා ද විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව පසුගියදා බුලත්සිංහල, බේරුවල සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවල ජනාධිපතිවරයා එලෙස සංචාරය කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වර්තමානයේ නිර්මාණය කර ඇත්තේ “ජන සහභාගීත්ව ආණ්ඩුවක්” බවත්, ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවන විට ඊට හොඳම සාක්ෂි දැන් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.

රට ගොඩනැඟීමේ කාර්යයේදී දේශපාලන අධිකාරිය, රාජ්‍ය සේවය, මහජන නියෝජිතයන් සහ ජනතාව යන සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ විය යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වන විට ‘අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කිරීමට’ කාලය පැමිණ ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.