වසර දෙකක් යනු “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ නැවුම් ආරම්භයක් පමණක් බවත්, ඡන්දයකින් ආණ්ඩුවක් වෙනස් කිරීම සහ ක්‍රමය වෙනස් කිරීම යනු කාරණා දෙකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි අවධාරණය කළාය.

ඇය මේ බව සඳහන් කළේ “ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් පසුගිය 06 වනදා බුලත්සිංහලදී පැවති ජන රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය, අදූරදර්ශී දේශපාලන තීන්දු හේතුවෙන් වැටුණු, පෝලිම්වල මිනිසුන් මියගිය සහ රෝහල්වල රෝගී ජීවිත අහිමි වූ තැනකින් රට භාරගත් බවත්, ගෙවී ගිය වසර දෙක තුළ රටක් වෙනස් කරන ආකාරය ඔප්පු කර ඇති බවත් ප්‍රකාශ කළාය. හිස් වූ පුටුවලට පුද්ගලයන් පත්කිරීමෙන් හෝ ආණ්ඩු මාරුවකින් පමණක් රට ගොඩනැගිය නොහැකි බව වසර 76ක අත්දැකීම්වලින් තේරුම් ගත් ජනතාව මෙම පාලන බලය ලබාදුන් බව ඇය පෙන්වා දුන්නාය.

මෙම වසර දෙක තුළ රජයේ මුදල් ඉතා පරිස්සමින් භාවිත කරන පාලනයක් ස්ථාපිත කර ඇති බව සඳහන් කළ ඇය, දේශපාලන බලය යටතේ නීතිවිරෝධී ක්‍රියා සිදුකළ සියලු දෙනාටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන බව ද සඳහන් කළාය. “නීතිය ක්‍රියාත්මක කරන විට කෙඳිරිගාන්න එපා” යැයි අනුර සහෝදරයා ප්‍රකාශ කළ පරිදිම මේ වන විට බොහෝ තැන්වලින් එවැනි කෙඳිරිලි හඬ ඇසෙන බව ද ඇය කියා සිටියාය.

එක් දිනකින් ආණ්ඩුවක් වෙනස් කළ හැකි වුවද, ක්‍රමයක් වෙනස් කිරීම ඊට වඩා විශාල සහ සංකීර්ණ කාර්යයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, ඒ වෙනුවෙන් නීති සහ රාජ්‍ය සේවය වෙනස් විය යුතු බවත්, වගවීම සහ විනිවිදභාවය ඇති විය යුතු බවත් පෙන්වා දුන්නාය. අද අවශ්‍ය වන්නේ බලවත් නායකයන් නොව බලවත් ආයතන බවත්, නීතිය ඇති-නැති පරතරයකින් තොරව සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.

කාන්තාවන් දේශපාලනිකව ශක්තිමත් කිරීම උදෙසා මැතිවරණයට පෙර ‘ගැහැනු අපි එක මිටට’ සංවිධාන පිහිටුවා විශාල ගුණාත්මක වෙනසක් සිදුකළ බව සිහිපත් කළ නිලන්ති කොට්ටහච්චි, යළි කිසිදා ආපසු නොහැරෙන ලෙස රට ගොඩනැගීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.