ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කර, නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ව්‍යවස්ථා සංශෝධන සිදු කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් බවට පළ වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අධිකරණ පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමෙන් හෝ නව බඳවා ගැනීම් සිදු කිරීමෙන් පමණක් කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා අධිකරණ පද්ධතිය තුළ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම ඇතුළු පුළුල් වැඩකොටසක් ක්‍රියාවට නැංවිය යුතු බව ද සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධ නීතිමය කරුණු මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් ද අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බව ඔහු කියා සිටියේය.

මහජනතාව මෙන්ම නීතිඥවරුන් ද නඩු කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බැවින්, අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට රජය කැපවී සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. අධිකරණ ක්ෂේත්‍රයේ මානව සම්පත් අවශ්‍යතාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කළ ද, සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියෙන් අනතුරුව බඳවා ගැනීමට හැකි වී ඇත්තේ 33 දෙනෙකු පමණක් බවයි.

එමෙන්ම, නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේය.