ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා ඇතුළු නියෝජිත පිරිසක් අගෝස්තු 11 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් JICA ආයතනය දිගුකාලීනව ලබාදෙන දායකත්වය මෙන්ම ඩිට්වා සුළි කුණාටුවෙන් පසු සහන සේවා සඳහා ජපාන රජය දැක්වූ සහයෝගය මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය. ස්වාභාවික ආපදාවෙන් පසු සහන සැලසීම, මහාමාර්ග, දුම්රිය මාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය මෙන්ම අනාගත ආපදා අවදානම් අවම කරගැනීම සහ පෙර සූදානම ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමුවිය.

මීට අමතරව, මෙරට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සහ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ රජයේ ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී යළි තහවුරු කළාය.

ණය සහන ඇතුළු විවිධ ක්‍රමවේද හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වීමට සූදානම් බව ප්‍රකාශ කළ JICA නියෝජිතයෝ, දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළහ. එසේම සියලු දරුවන්ට සමාන අවස්ථා හිමිකර දෙන අධ්‍යාපන වැඩසටහන් හඳුන්වාදීමටද JICA ආයතනයේ කැමැත්ත පළවිය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම, ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී ජාල ව්‍යාපෘතිය මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ JICA කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගේඔ හොන්සු, ජ්‍යෙෂ්ඨ නියෝජිත මිනෝරු මත්සුනොෂිතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව සිටියහ.