බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කරමින් ඉහළ නැංවීමේ අරමුණින්, දිස්ත්‍රික්කයේ රෝහල් පහක් සඳහා නව ගිලන් රථ බෙදාදීම අද (11) බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේදී සිදු විය.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි. ඉන් රුපියල් මිලියන 123.9 ක් ගිලන් රථ 05ක් මිලදී ගැනීම වෙනුවෙන් වැය කර ඇති අතර, ඒවායේ ස්ථාපිත අතිනවීන වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 57.6 ක් වැය කර තිබේ. මෙම නව ගිලන් රථ දියතලාව, වැලිමඩ, බණ්ඩාරවෙල යන මූලික රෝහල් වෙතත්, කොස්ලන්ද සහ ලුනුගල යන ප්‍රාදේශීය රෝහල් වෙතත් පිරිනැමීමට පියවර ගැනුණි.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන්ක් හෙන්නායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර යන අයගේ සහභාගීත්වයෙන් මෙම බෙදාදීම සිදු විය. මේ සඳහා ඌව පළාත් ප්‍රධාන ලේකම්, ඌව පළාත් සෞඛ්‍ය ලේකම් සහ බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.