මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක මාර්ග කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය මේ වන විට 53% ඉක්මවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පසුගියදා (07) ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2028 වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි වනු ඇති බව ව්‍යාපෘති භාර ඉංජිනේරුවෝ මෙහිදී ප්‍රකාශ කළහ. ඒ අනුව, මෙම වසර අවසන් වන විට ඉදිකිරීම් ප්‍රගතිය 65% දක්වාත්, 2027 වසර අවසන් වන විට එය 95% දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පසුගිය රජය සමයේ අතරමඟ නවතා දමා තිබූ මෙම ව්‍යාපෘතිය, වත්මන් රජය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත ප්‍රවේශ විය හැකි කඩවත පද්ධති අන්තර් හුවමාරුවේ (Kadawatha System Interchange – KSI) ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිය නිරීක්ෂණයට ලක් කළේය.