හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් මේ වසර අවසන් වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිසට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසියේ තවත් විමර්ශන අංශ කිහිපයක් ආරම්භ කර ඇති පරීක්ෂණ දැනටමත් වේගවත් කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
අදාළ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් විසින් සිදු කරන ලදැයි කියන දූෂණ, වංචා සහ මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් රටට අහිමි වී ඇති මුළු මුදල රුපියල් කෝටි 5,000කට වැඩි බව අල්ලස් කොමිසම සහ පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී තිබේ. පසුගිය කාලසීමාව තුළ සිදු වූ විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් විසිදෙනකුට ආසන්න පිරිසක් මේ වන විටත් විවිධ දඬුවම් ලබා බන්ධනාගාරගතව පසුවෙති.
මේ අතර, විමර්ශනයට ලක්ව සිටින මෙම දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් විදේශගත වීම වැළැක්වීම සඳහා අදාළ විමර්ශන අංශ අවශ්‍ය පියවර ගෙන තිබේ. ඒ අනුව ඔවුන් පිළිබඳව නිරන්තර සෙවිල්ලෙන් පසුවීම සඳහා විශේෂ ඔත්තුකරුවන් කණ්ඩායම් ද යොදවා ඇති බව වාර්තා වේ.
මීට අමතරව, විවිධ තාක්ෂණික ගැටලුවලට මුවා වී මීට පෙර නඩු කටයුතුවලින් නිදහස් වූ දේශපාලනඥයන් කිහිපදෙනකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති අතර, එම තාක්ෂණික දෝෂ නිවැරදි කර ඔවුන්ට එරෙහිව නැවත නඩු පැවරීමට කටයුතු සැලසුම් කරමින් පවතී. ඉදිරි තීරණාත්මක මැතිවරණවලට පෙර මෙම විමර්ශන කටයුතු අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව ද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, රටේ මහජන දේපළ නාස්ති කළ දේශපාලනඥයන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව විමර්ශන පවත්වන බවයි. එම දූෂණ පිළිබඳ කරුණු සොයා බලා රටට අහිමි වූ මුදල් නැවත සොයා ගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.