දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බවත්, ජනතාව සමඟ එක්ව පාලනය කරන සහ සියල්ලන් ඇතුළත් කරගත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) විසින් “වෙනස් වෙමින් පවතින ලෝක දේශපාලනය තුළ දකුණු ආසියාව” යන තේමාව යටතේ දකුණු ආසියාවේ ප්‍රථම වරට සංවිධානය කරන ලද “ISA – South Asia in World Politics (SAWP) Conference 2026” සමුළුවට ඊයේ (06) කොළඹදී එක්වෙමිනි.

අගෝස්තු 6 වනදා සිට 8 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා දකුණු ආසියාව ඇතුළු අනෙකුත් කලාපවල ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෘත්තිකයන් සහභාගී වන අතර, වර්තමාන කලාපීය සහ ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම සහ අදහස් හුවමාරු කර ගැනීම මෙහි මූලික අරමුණයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දකුණු ආසියාතික කලාපයේ අනාගතය තරුණ ජනගහනය, වර්ධනය වන මානව සම්පත සහ ආර්ථික අවස්ථාවන් මත නිර්මාණය වන බවයි. කලාපීය සහයෝගීතාව සහ මෙවැනි දැනුම හුවමාරු කරගන්නා වේදිකා ශක්තිමත් කිරීම තුළින් තනි රටක සංවර්ධනයෙන් ඔබ්බට ගිය සමෘද්ධිමත් සහ අන්තර්සම්බන්ධිත දකුණු ආසියාවක් ගොඩනැගීමට හැකි වන බවද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුත් සියල්ලන් ඇතුළත් පාලනයක් ශක්තිමත් කිරීම සඳහා ඉවසීම, නිහතමානීභාවය සහ ස්වයං විමර්ශනය අවශ්‍ය වන බවයි. දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිමත්භාවය, සියල්ලන් ඇතුළත් සංවර්ධනය, යුක්තිය සහ සමානාත්මතාවය මත බවද ඇය සඳහන් කළාය.

දේශපාලන හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්ය නීල් ඩිවෝටා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, කලාපයේ පවතින විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වී, වෘත්තීය අවස්ථා සහ වැඩදායී පුරවැසියන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් පවතින බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණක් බවද ඇය ප්‍රකාශ කළාය.

ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, දූෂණයෙන් තොර පාලනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව ලැබෙන ධනාත්මක පිළිගැනීම නිසා රට ආයෝජන සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ප්‍රචලිත වෙමින් පවතින බවයි. දරිද්‍රතාවය තවමත් ප්‍රධාන අභියෝගයක් වුවද, ආර්ථික වර්ධනය සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ හරහා නව අවස්ථා නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ට ආයෝජනය කරන ලෙසද ඇය මෙහිදී ඇරයුම් කළාය.