ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිල සුනඛයන්ද මෙම වැටලීම සඳහා යොදවාගෙන ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයාගේ නිවස තුළ බූරුවා ගැසීමේ සූදු පිටියක් පවත්වාගෙන ගොස් ඇති අතර, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් 14 දෙනෙකු සමඟ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද පොලිස් අත්අඩංගුවට පත් විය.

අනතුරුව සිදුකළ සෝදිසි කිරීම්වලදී එම නිවසේ තිබූ අධිශීතකරණයක දමා තිබූ විවිධ වර්ගයේ තහනම් දඩ මස් කිලෝග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එම මස් තොගය සමඟ අධිශීතකරණයද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 05 වනදා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට දඩ මුදල් නියම කර නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කෙසේ වෙතත්, අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ පවතින මුදල් වංචා නඩුවකට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි වරෙන්තුකරුවෙකු වීම හේතුවෙන්, කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔහුව මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.