ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සුළුකොට නොසලකන බවත්, එම ප්‍රකාශය මහජන සාමයට මෙන්ම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ බරපතළ බලපෑමක් බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොදුජන පෙරමුණේ ලේකම්වරයා කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත්, ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස උපදෙස් ලබාදුන් බවත්ය.
අල්ලස, දූෂණය, මහජන දේපළ මංකොල්ලකෑම් සහ පාතාලය ඇතුළු ජාවාරම් මර්දනය සඳහා වත්මන් පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශ විසින් ආරම්භ කර ඇති කිසිදු විමර්ශනයක් කිසිදු හේතුවක් මත නතර නොකරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එම විමර්ශන කටයුතුවල නිරත වන සියලුම නිලධාරීන්ට අවශ්‍ය ශක්තිය, ධෛර්යය මෙන්ම රැකවරණය සහ සුරක්ෂිතතාව ලබාදීමට රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය වකවානුවල සිදු වූ සියලු ඝාතන, වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන වත්මන් රජය යටතේ අඛණ්ඩව සිදුකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.