රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සතු ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (Passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.

සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස පෙනී සිටීමට උත්සාහ කළ ද ඉන් ඉවත් කරනු ලැබූ උදය ගම්මන්පිල, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය වෙත යන බවයි. කෙසේ වෙතත්, ඔහුගේ මෙම හැසිරීම දේශපාලන රංගනයක් බවට විවේචන එල්ල වෙමින් පවතී.

ගම්මන්පිලගේ ප්‍රකාශය තුළින් ඔහු ඇතුළු පිරිස අධිකරණ නියෝගය හමුවේ අතිශයින් බියට පත්ව ඇති බව පැහැදිලි වන බව විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම, “සලේගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට යන්න කටයුතු කරාවි කියලා අපි හිතනවා” යනුවෙන් ඔහු කළ ප්‍රකාශය මඟින් ගම්‍ය වන්නේ, එම මොහොත වන විටත් අදාළ නීතිඥ පාර්ශ්වය එවැනි තීරණයකට එළඹ නොසිටි බවයි. නීතියෙන් රිංගා යෑමේ අරමුණින් අධිකරණ තීන්දුවට අභියෝග කරමින් මෙලෙස කූට ප්‍රකාශ නිකුත් කරන බවට ද ඔහුට චෝදනා එල්ල වේ.

මේ අතර, සුරේෂ් සලේ සතු උපාංගවල උදය ගම්මන්පිලගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අදාළ පාර්ශ්වයන් විසින් තහවුරු කර තිබේ. දත්ත ආරක්ෂාව වෙනුවෙන් දරන උත්සාහය අපගමනය කිරීම සඳහා එවැනි පදනම් විරහිත මඩ ප්‍රචාර දියත් කර ඇති බව ඔවුන්ගේ මතයයි.