ශ්‍රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ, ලෝක බැංකුව විසින් මෙරට යළිත් ‘ඉහළ මැදි ආදායම් ලබන’ රටක් ලෙස නම් කර තිබේ. මීට සමගාමීව මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාර අනුමත කර ඇත.
මෙම මුළු ආධාර මුදලින් ඩොලර් මිලියන 200ක් වෙන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව මඟිනි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මෙරට ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හදිසි ආධාර පැකේජයක් ලෙස මෙය ලබා දෙයි. එය ඩොලර් මිලියන 100ක ණය මුදලකින් සහ තවත් ඩොලර් මිලියන 100ක සහනදායී ණය මුදලකින් සමන්විතය. මීට අමතරව, ව්‍යාපෘතිවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා ඩොලර් ලක්ෂ 5ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් ද ඊට ඇතුළත් වේ. හානියට පත් මාර්ග, වාරිමාර්ග යටිතල පහසුකම් සහ නිවාස ප්‍රතිසංස්කරණය මෙන්ම කුඩා වතු හිමියන්ගේ ජීවනෝපාය නඟාසිටුවීම මෙමඟින් සිදු කෙරෙන අතර, ප්‍රවාහන, වාරිමාර්ග, කෘෂිකර්ම සහ ආපදා කළමනාකරණ ආයතන හරහා ආසියානු සංවර්ධන බැංකු උපදේශක සහාය ඇතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරගකාරිත්වය සහ රැකියා උත්පාදනය ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඩොලර් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදනයක් අනුමත කර ඇත. මෙය ශ්‍රී ලංකාව ලැබූ ආර්ථික ප්‍රගතිය තවදුරටත් තහවුරු කිරීමට ඉවහල් වනු ඇත.