2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් පාවහන් යුගල බැගින් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක කරන ලද පාවහන් ලබා දීමේ වැඩසටහන මඟින් සමස්ත පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් ආවරණය වූ අතර, 2027 වර්ෂය සඳහා වන වැඩසටහන 2026 වසරේ තෙවන පාසල් වාරය අවසන් වීමට ප්‍රථම නිම කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන ක්‍රමවේද දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් සඳහා දේශීය පාවහන් නිෂ්පාදකයන් මඟින් අදාළ පාසල් වෙතම පාවහන් ලබා දීමට පියවර ගැනේ. මධ්‍යම, උතුර, උතුරුමැද සහ ඌව යන පළාත් සඳහා වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම පිණිස එක් අයෙකුට රුපියල් 3,000ක වටිනාකමින් යුත් තිළිණ පතක් බැගින් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.